ඔහු එදා නිදාගත්තේ මං නිදා උන්නු ඇඳ ලඟින්ම බිම පැඳුරක් දාගෙන. බයක් හිතේ නොතිබුණාම නෙවෙයි. මොනවා වුණත් සිද්ධ වෙන්න තියෙන්නෙ සිද්ධි දෙකයි කියලා හිතාගෙන හිත හදාගෙන මං ඇස් පියාගත්තා.
ඇගේ ලියමනෙන් මම මොහොතකට දෙනෙත් ඉවතට ගතිමි. ඇගේ ජීවිත කතාවේ එක් සුවිශේෂී තැනක ඇති සෞන්දර්යය උපරිමයෙන් විඳීම මගේ එකම අරමුණ විය. එක්කෝ මින් පසු ඇය තවදුරටත් කන්‍යාවක් නොවන්නේ ය. නැතහොත් සිල් නොබිඳෙන්නේ ය.
"රේඩියෝ කාරයෙකු විදිහට අවුරුදු 10ක් මං මිනිස්සු කී දෙනෙක් ඉන්ටව් කරලා ඇත්ද? කීයක් ගෑණුන්ගේ ජීවිත ගැන කතා කරලා ඇත්ද? ඒත්... මේ කියන කෙල්ලගේ, මේ කෙල්ල කියන කොල්ලගෙ අදහස් අමුතුයි. ඒ මං මෙච්චර කාලයක් අළුත් ප්‍රෝග්‍රෑම් එකකට හොයපු චරිත නේද?"
මම එක් තීරණයක් ගතිමි. කෙසේ හෝ ඇයව හමු විය යුතු ය. ඒ වන තුරු ඔහු සමඟ සිටි ඇගේ පළමු රාත්‍රියේ කතාව මම නොකියවමි.
"අයේශයා උඹ මොකද බං ලයිබ්‍රියට වෙලා කරන්නේ? ප්‍රෝග්‍රෑම් එකට විනාඩි දහයයි..." මගේ මනෝ ලෝකය බිඳී ගියේ හදිසියේම පැමිණි සෙනරත්ගේ හඬෙනි. අද නම් වැඩසටහනට තොරතුරු හොයා ගන්නට කල් වේලාවක් නැත. දන්නා ශිල්ප දක්වා පැය දෙකේ ජාමේ බේරා ගත යුතුය.
අද අපි සහෘද ඔබත් එක්ක මේ සුන්දර හැන්දෑවේ කතා කරන්න යන්නේ අතිශය සොඳුරු මාතෘකාවක් ගැන. ආදරය... අපි වැඩහටහන් ගණනාවකම ආදරය ගැන කතා කළා. ඒත් මෙච්චර කාලයක් මම සහ ඔබ නොකියවපු ආදරයක් ගැන අපි අද කතා කරමු. අවසරයි අද සහෘද නිශාන්තය මෙලෙසින් අරඹන්නට"
මම අමරසිරි පීරිස්ගේ ගීතයක් ගුවනට මුදා හැරලා මැදිරියෙන් පිටතට ආවා. ඇය සහ ඇගේ ආදරය ගැන කියන්න යන මේ මොහොතේ ඇයට කතා කළ යුතු ය. එවන් උතුම් ආදරයක හිමිකරු ගැන නැවත වතාවක් ඇගේ ස්මරණය රසිකයන්ට ජීවිතය කියා දෙනු ඇත.
"හෙලෝ ලක්ෂි නේද?" දුරකතනයේ එහා අන්තයෙන් ඇහුණෙ රළු ගැහැණු කටහඬකි
"කියන්න..." ඇගේ කට හඬ පරයා යමින් මහා ගෝෂාවක් පසු බිමින් ඇහෙමින් තිබුණි
"මං මේ කතා කරන්නෙ ලයිෆ් රේඩියෝ එකෙන්"
"අයේශ් අයියා නේද... සොරි අඳුරාගන්න බැරි වුණා"
"මට ඔයාව හම්බ වෙන්න ඕනෙ." එය බරපතල ක්ෂණික ආයාචනයකි. නමුත් දැන් මුවින් පිටවී හමාර ය.
"කියන්න අයියේ... කටවහගෙන පලයන් කේශාන් අයියේ උඹට දෙන්න කෙල්ලො මෙහෙ නෑ..." නිහැඬියාවකි. ඇගෙන් දැන ගන්නට තවත් බොහෝ දේ තව තවත් සිත තුළ ගොඩ ගැසෙයි.
"සොරි... පුළුවන් අයියේ..."
"මං කොහාටද එන්න ඕනෙ?.." සිනාවකි. මා බාල්දු කරන තරමේ සිනාවකි.
"ඔයා මගේ මුළු ලියුමම කියෙව්වෙ නෑ නේද? ඔයා මගේ ලියුමම කියෙව්වා නම් ඔහොම ප්‍රශ්නයක් අහන්නේ නෑ" එය ප්‍රශ්නයකි.
"ඇයි...?"
"රාජගිරියේ ගෝතමී පාර ළඟට එන්න." මා කුමකට නම් බිය විය යුතුද...? මා අද රෑ හෝ එහි යා යුතුව ඇත. එය තීරණාත්මක ගමනකි.
"හමුවීමට වඩා වෙන්වීම සොඳුරු මේ ලෝකෙ තවත් එක වෙන්වීමක්. ඒත් හෙට රාත්‍රියේදෙත් සුපුරුදු වෙලාවට සුපුරුදු රේඩියෝ තරංග අතර මා ඔබව හමුවනවා. මා ඔබට පොරොන්දු වෙනවා. අදට වඩා අතිශය සුන්දර ආදරයක් හොයාගෙන හෙට මා ඔබ හමුවන්නේ. සමුගන්නම් අදට. මම අයෙශ් ලක්මාල්. සුභ රාත්‍රියක්."
අහස සේ ඔබ අනන්තයි... සයුර සේ ඔබ අනන්තයි...
මේ විශ්වයේ මා දකින්නේ ඔබමැ පමණයි... ඔබ අනන්තයි...
අවුරුදු දහයකට පහලොවකට කලින් අතීතේ එක ලස්සන දවසක් මගේ සිහියට එයි. කොතරම් වලක්වන්නට වෙර දැරුවද ඒ අතීතයේ ගිළුනු සුන්දරත්වය මෙන්ම කටුකත්වයද විඳ දරා ගත යුතුව ඇත.
යතුරු පැදිය මා මේ රාත්‍රී අන්ධකාරයේ ම වර්තමානයේ සිට අතීතය ගෙන යනවා යැයි සැකයක් ඉපදෙයි. බොරැල්ලේ වීදි ලාම්පු එළිය මට ආගන්තුක නැත. හොඳටම පුරුදු ය. ඒත් වෙනදා නොදැනුණු සුන්දරත්වයක් ඒ තුළත් ඇති බවක් හැඟෙයි.
මම හිස ඒ මේ අත හරවා බලමි. ඈ කීවේ මේ සුවිසල් රාත්‍රී සමාජ ශාලාව ගැනද? පා පැදිය නවත්වා ඉන් බසිත්ම ගංජා සුවඳක් නැහැය විනිවිද ගියේ ය. එයද වූ කලී අතීතය සිහි ගන්වන සුවඳකි.
----------
"එන්න අයියේ වාඩි වෙන්න" ඇය ලස්සන එකියකැයි නොකියමි. ඇත්තටම ලස්සන එකියකි. රාත්‍රී සමාජ ශාලාවලදී දකින්නට ලැබෙන මාර දූතිකාවන් අතරේ ඈ විශාකාවකි.
"ඔයාට ප්‍රශ්න ගොඩාක් ඇති කියලා ඇස් දෙකෙන් පේනවා"
"ඔයා කොහොමද එහෙම කියන්නේ? හිත් කියවන්න පුළුවන්ද?"
ඇය ඕල්ඩ් ඇරැක් බෝතලයක්, වීදුරුවක් මේසය මත තබයි. මා දෙනෙත් වලට එබී සිනා සෙයි.
"අයියේ අවුරුදු 3ක් තිස්සේ මෙහෙට එන මිනිස්සුගෙ ප්‍රශ්නවලට උත්තර හොයලා දුන්නේ ප්‍රශ්න අහලා නෙවෙයි. ඇස් වලින් ප්‍රශ්න හොයලා. ඔයත් අසහනකාරයෙක්. ඔයා ජීවිතේ හොයනවා. අපේ ජීවිතවල පතුල හොයනවා. තව හොයන්න. ඒත් ටිකක් අමාරුයි." ඈ වයසට වඩා මුහුකුරා ගොස් ඇතැයි කියා සිතන්නට ඒ වචන කිහිපය වුව ප්‍රමාණවත් ය. මට පටිගත කර ගන්නට බැරි වුණේ එවන් පරිණත කාන්තාවකගේ අව්‍යාජ වචන ය.